aircraft

Latest

Friday, March 30, 2018

ගුවන් යානා වල පැති ජනේලයේ ඇති කුඩා සිදූර ඔබ දැක තිබේද?

ඔබ නිතර ගුවන් යානා වල ගමන් ගන්නා කෙනෙකු විය හැක, නැතහොත් ගුවන් යානා සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු කරන කෙනෙකු හෝ ගුවන් යානා ක්ෂේත්‍රය පිළිබද යම් ඇල්මක් දක්වන කෙනෙකු විය හැක. ඉහත කුමන කාණ්ඩයට ඔබ අයත් උවද ගුවන්යානා වල ඇති වැදගත් සහ ඔබ පුදූමයට පත්කරවන සමහර කරුණු ගැන ඔබ දැනුවත්ද? Do You Ever Noticed? ලිපි මාලාවෙන් ගුවන් යානා වල ඇති ඔබ දැන සිටිය යුතු නමුත් වැඩි වශයෙන් කතා බහට ලක් නොවන කරුණු පිළිබදව විග්‍රහයක් කෙරේ.

ගුවන් යානා වල පැති ජනේලයේ (Side Window) ඇති කුඩා සිදූර ඔබ දැක තිබේද? එයින් කෙරෙන කාර්යය ඔබ නිවැරදීව දන්නෙහිද?






ගුවන් යානය බොහෝ විට උස අඩි 35,000 ක් පමණ උසකින් ගමන් කරයි (Cruising Altitude). නමුත් එවැනි උසකදී වායු ගෝලීය පීඩනය ඉතා විශාල ලෙස පහත බසින බැවින් ජීවීන්ගේ පැවැත්මට හිතකර නොවේ.

එවැනි අඩු පීඩනයක් තුල අපට ජීවත්විය නොහැක. එම නිසා ඉතා ඉහළ උසකින් ගුවන් යානය ගමන් ගන්නා විට එය තුළ (Aircraft Cabin) පීඩනය මගීන්ට අපහසු නොවන ලෙස ඉහළ අගයක පවත්වාගත යුතුයි. සාමාන්‍යයෙන් ගුවන් යානයක ඇතුලත පීඩනය උස අඩි 7,000 දී  පවතින වායුගොලීය පීඩනයට ආසන්න ලෙස පවත්වා ගන්නා අතර එම නිසා ගුවන් යානයෙන් පිටත සහ ඇතුලත ඉතා විශාල පීඩන අන්තරයක් පවතී.

මෙම පීඩන අන්තරය මගින් ගුවන්යානයේ ඇතුල් බිත්ති (Inner Walls) සහ ජනේල (Windows) මත සැළකිය යුතු ලෙස විශාල පීඩනයක් යොදනු ලබයි. මෙම හේතුව නිසා ගුවන් යානයේ පැති ජනේල (Side Windows or Passenger Windows) මත යෙදෙන පීඩනය දරාගැනීමට හැකිවන අයුරින් ඉතා ශක්තිමත් ලෙස නිපදවීම කල යුතු වේ.

සාමාන්‍යයෙන් ගුවන් යානයේ ජනේලයක වීදූරු තට්ටු (Panes) තුනක් පවතින අතර (1 රූපය) ගුවන් යානයේ ඇතුලත ඇති වීදූරුව අලංකරණය සදහා ද මධ්‍ය හා බාහිර වීදූරු තට්ටු වලට සිදූවන හානි වැලැක්වීම සදහා ද යොදා ඇත. ඇතුලතින් ඇති මෙම වීදූරුව මෙන්ම අනෙක් වීදූරුද සාදා ඇත්තේ Acrylic Resin මිශ්‍රණයක් මගිනි. ඇතුලතින් ඇති වීදූරු තහඩුව පැති බිත්ති ආස්තරය (Side Wall Lining) වෙත සවිවන අතර පීඩන වෙනස යෙදෙන මධ්‍ය හා බාහිර වීදූරු තහඩු (Middle and Outer Panes) ඒවා වටා ඇති රබර් ඇවුරුම (Rubber Perimeter  Seal) මගින් ගුවන්යානයේ බදට (Fuselage) සවිවේ.
(1 රූපය)

මධ්‍ය වීදූරු තහඩුව හා බාහිර තහඩුව අතර වාතය පිරි හිදැසක් (Air Gap) පවතී (2 රූපය). මෙලෙස වායු හිදැසක් යොදා ඇත්තේ යම් හෙයකින් බාහිර වීදූරු තහඩුව හානි වුවහොත් පීඩන අන්තරය මධ්‍ය තහඩුව වෙත යෙදී ගුවන් යානයේ ඇතුලත පීඩනය පෙර පරිදිම පවත්වා ගැනීමටයි. මධ්‍ය වීදූරු තහඩුව සාමාන්‍ය අවස්ථාවලදී උපස්ථ (Backup) තහඩුවක් ලෙස ක්‍රියාකරන අතර මධ්‍ය වීදූරුවට පීඩන අන්තරය නොයෙදී බාහිර වීදූරුව වෙත පීඩනය වූ වායුව රැගෙන යනු ලබන්නේ මධ්‍ය වීදූරුවේ ඇති කුඩා සිදූර (Breather Hole)  මගිනි.
(2 රූපය)

යම් අවස්ථාවල කුඩා සිදූර අවට අයිස් තැන්පත් වී ඇති ආකාරය දක්නට ඇත (3 රූපය). මෙයට හේතුව ගුවන්යානයෙන් පිටත ඇති සිසිල් වාතය මගින් ඇතුලත වාතයේ ඇති ජල වාශ්ප ඝනීභවනයට (Condensations) ලක් කිරීමයි.
(3 රූපය)

No comments:

Post a Comment

Adbox